2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

කෑම මේසයට කඩා වැටෙන් හෙනහුරා

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 127

වත්මන් ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අයවැය සමඟම ආපනශාලා තුළ විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු අසේල සම්පත් පවසයි. එමෙන්ම රජය විසින් මෙලෙසින් සහන ලබාදී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොව සතියකට වරක් හෝ වෙළෙඳපොළට ගොස් මිලදී නොගන්නා භාණ්ඩවලට බවද ඔහු සඳහන් කළේය.

අසේල සම්පත් මහතා ගොනුකළ අදහස් තවදුරටත් මෙලෙස සටහන් කරමු.

මීට මාස තුනකට පමණ පෙරදී රුපියල් 66ට තිබූ සහල් කිලෝවක් අද වනවිට රුපියල් 90ක් හෝ ඊට වඩා වැඩි මුදලකට වෙළෙඳ පොළේදී අලෙවි වේ. ලංකා සතොස සහ සුපිරි වෙළඳ සංකීර්ණවලදී සහල් කිලෝවක් රුපියල් 65 සහ 75 අතර මිලක පැවතුණද ආපනශාලා හිමියන් කිසිවකුත් එමගින් සහල් මිලදී ගන්නේ නැත. එමෙන්ම බොහෝ ආපනශාලා හිමියන් තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු ලබන්නේ තොග වෙළෙඳ මධ්‍යස්ථානවලින් පමණි. එම තත්ත්වය තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආහාර ලබාදීමේදී ඔවුහු අපහසුතාවයට පත්ව සිටිති.
එමෙන්ම අයවැයෙන් භාණ්ඩ මිල ඉහළ යාමට පෙර රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි රුපියල් 100ට ලබාදුන් දිවා ආහාරය රුපියල් 120ත් රුපියල් 150ත් අතර වැඩිවීම තුළින් පාරිභෝගිකයන්ද මහත් අපහසුතාවයට පත්ව සිටියි.
අද වනවිට හෝටල් සේවකයන්ද අඩුවී ඇති බැවින් ආපනශාලා හිමියන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී තිබේ. රටෙහි ප්‍රධාන යාන්ත්‍රණයක් වන හෝටල් සහ ආපන ශාලාවල මතුව ඇති සේවක හිඟයටද බලධාරීන් වගකිව යුතුයි. සෑම ආයතනයකම තිබෙන්නා වූ විවිධ සුබසාධක සංගම් ආහාර මිල වැඩි කිරීමට විරෝධය පළ කළද වස විස නැති පෝෂ්‍යදායී ආහාර වේලක් එම මුදලට ලබාදීමට නොහැකි වී තිබේ. ආපනශාලා තුළ ආප්පයක් රුපියල් 10ට ලබාදුන් නමුත් හාල් පිටි ඉහළ යාම හේතුවෙන් ආප්ප සහ අනෙකුත් සුළු ආහාර ද්‍රව්‍යවල මිලද ඉහළ දැමීමට සිදුවනු ඇත.
රජය විසින් භාණ්ඩ මිල ඉහළ දැමීමේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල මිල පහත දැමීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමේදී සිදුවී ඇති අසාධාරණයට විරුද්ධව ඔවුහු තවමත් මැසිවිලි නගති. බොහෝ ආපනශාලාවල අද වනවිට රුපියල් 10ක් වැනි මුදලකට ලබාදෙන්නේ කසළ තේය. රුපියල් 820ක්ව ඇති කිරිපිටි කිලෝවක් මිලදී ගෙන අඩු මුදලට කිරි තේ ලබාදීමට හැකියාවක් නැත.

ශ්‍රී ලංකාව තුළ සිටින පෝෂණවේදීන්ගේද සහාය ඇතිව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ තිබෙන්නා වූ ආහාර සඳහා නිශ්චිත මිලක් නියම කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. ආහාර සපයන්නන් සහ පාරිභෝගිකයන්ද එමගින් සතුටට පත්වෙනු ඇත. එමෙන්ම එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පාලනයක් සිදුකරන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටියෙමු. 

රජය විසින් කිහිප විටකදීම දුම්වැටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද වනවිට සිසිල් බීම වැනි ද්‍රව්‍ය ඉල්ලුමක් නොමැති තත්ත්වයට පත්වී ඇත. එමගින් මෙම කර්මාන්තය සිදුකරන පුද්ගලයෝ ඉතාමත් අසරණභාවයට පත්වී සිටිති. සම්පූර්ණ හෝටල් කර්මාන්තයම මේ වනවිට රජයේ මෙන්ම පෞද්ගලික බැංකුවලද ණයකරුවන් බවට පත්වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා ආහාර සුරක්ෂිත සතියක් ප්‍රකාශයට පත්කොට පැවසුවේ දිවා ආහාරය ගෙදරින් පිළියෙළ කොට ගෙනවිත් ආහාර ගන්නා ලෙසයි. පිටතින් ආහාර රැගෙන පැමිණියද ආහාර රැගෙන එන පුද්ගලයන් එම ආහාර අනුභව කරන ස්ථානය පිළිබඳ ගැටලුවට පිළියම් කුමක් වනු ඇතිද? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ යුත්තේ ආපනශාලා තුළ ඇති ආහාරවල ගුණාත්මකභාවය ඉහළ දැමීම මිස ප්‍රකාශ නිකුත් කිරීම නොවේ.

අද වනවිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලද හෝටල් පාඨමාලාව සඳහා පැමිණෙන්නන්ගේ ද අඩුවක් දක්නට ඇත. එමෙන්ම එලෙස පැමිණෙන පිරිස් සඳහාද අද ලබාදෙන්නේ විදේශීය ආහාර පිළියෙළ කරනා ක්‍රමය පිළිබඳ පුහුණුවකි. එමෙන්ම අපට ආවේණික වූ කුළුබඩු යොදා ගනිමින් ආහාර පිළියෙළ කරනා ආකාරය පිළිබඳව අද පුහුණුවක් ලබාදෙන්නේ නැත. එමෙන්ම මෙම කර්මාන්තයේ කඩා වැටීමක් ලක්ෂණ පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ පිරිස් රට අතහැර විදේශ ගතවීම සඳහාද යොමුවී තිබේ.

රජය විසින් ආපනශාලා හිමියන් සඳහා ඍජු මැදිහත්වීමක් සිදුකරනු ලබන්නේ නැත. ඒ වෙනුවට සෞඛ්‍ය සතිය, පෝෂණ සතිය ලෙස මාධ්‍ය සංදර්ශන පවත්වමින් සහ දඩ මුදල් නියම කරමින් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එදා සිටම නිසි ලෙස වැටලීම් කරමින් සේවය ඉටුකරනු ලැබුවේ නම් මෙලෙස ලබාදෙන්නා වූ ආහාරවල ගුණාත්මක භාවය පරීක්ෂා කළේ නම් අද වනවිට ආපන ශාලාවල තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වෙනු ඇත.

ඇතැම් ආපශාලා තුළද පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන අවස්ථාද නැතුවාම නොවේ. අනිවාර්යයෙන්ම ආපනශාලා තුළද මිල ප්‍රදර්ශනයක් සිදුකළ යුතුය. එමෙන්ම ආහාරවල ගුණදොස් විවේචනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් පැමිණිලි ඒකක ඇති කිරීමටද රජය විසින් පියවර ගත යුතුය.

රජය විසින් සිදුකරන ලද වැට් බදු සංශෝධනය සමඟම ඇතැම් ආපනශාලා හිමියන් තමන්ට වාසි සහගත ලෙස භාණ්ඩ මිලදී ගෙන පාරිභෝගිකයාට ලබාදෙනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යංශ ටෙන්ඩර් පටිපාටිය තුළද ග්‍රෑම් 450 ආහාර වේලක් රුපියල් 60 ලබාදෙන්නේ කෙලෙසද යන්න පිළිබඳවද අසේල සම්පත් මහතා ප්‍රශ්න කර සිටියේය. පොල් ත්‍රිකෝණය අපේ රටේ පිහිටා තිබුණද අද වනවිට ව්‍යාංජන පිළියෙළ කිරීමේදී පොල්කිරි දැමීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ආහාර සඳහා අවශ්‍ය කුළුබඩුවල මිලද සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් ඒ සඳහා රසකාරක යෙදීමට සිදුවී ඇත. මෙම ඇතැම් රසකාරක මිනිස් ශරීරයට අහිතකර වුවද කුළුබඩු සඳහා ඇති මිල ගණන් සැසඳූ විටදී රසකාරක හැර කුළු බඩු යොදමින් ආහාර වේලක් ලබාදීමට හැකියාවක් ඇත්තේ නැත.

ඇතැම් එළවළු මාළු සහ අනෙක් භාණ්ඩවලට අතරමැදියන් වැඩිවීම තුළින් භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී ආපනශාලා හිමියන් ඉමහත් අපහසුතාවයට පත්වී තිබේ. මුදල් අමාත්‍යවරයාටද පාර්ලිමේන්තුව තුළදී ලේඛන බලා අයවැය සහ වැට් බදු සම්බන්ධව පැවසිය හැකිවුවද අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන තීරණය කිරීමට ආයතනයක් නොමැතිවීම මගින් ආපනශාලා හිමියන් සහ පාරිභෝගිකයන්ද විශාල ගැටලු රැසකට මුහුණ පා ඇත.

රජය විසින් සිදුකළ ආහාර මිල ඉහළ යෑම් සමඟම පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව රාජ්‍ය ආයතනයක ආපනශාලා හිමිකරුවකු වන ජයලත් චන්ද්‍රාගමගේ මහතා දේශයට මෙලෙස අදහස් පල කළේය.

රජය මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමත් සමඟම ආපනශාලා හිමියන් ලෙස අපි මහත් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා. වාර්ෂිකව ඉදිරිපත් කරන ටෙන්ඩර් පටිපාටියකට අනුව තමයි අපි මෙම ආපනශාලාව ගත්තේ. මම මීට පෙරත් රාජ්‍ය ආයතනවල නොවුණත් පෞද්ගලික ආයතනවල ආපනශාලා පවත්වාගෙන ගොස් තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියත් පාරිභෝගිකයන් හට ලබා දෙන්නා වූ එම ආහාරවල මිල ගණන් වැඩි කිරීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඇත්තටම ගත්තොත් දැන් අපි සාමාන්‍ය තේ කෝප්පයක් රුපියල් 10කට සහ කිරිතේ කෝප්පයක් රුපියල් 20ක් වගේ මිලකට තමයි අලෙවි කරන්නේ. මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝ එකක පැකට් එකක මිල රුපියල් 800කට අධිකයි. කිරිපිටි කිලෝ එකකින් කෝප්ප 50ක් වගේ ප්‍රමාණයක් තමයි හදන්න පුළුවන්. එක තේ කෝප්පයකට යන සීනි තේ කොළ දිහා බලපුවහම කිරි තේ එකකින් වැඩි ලාභයක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම තමයි අපි මෙහි උදෑසන ආහාර වේලක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 35ක් වැනි මුදලකට. දිවා ආහාර වේලක් රුපියල් 50ක් වැනි මුදලකට තමයි අපි දෙන්නේ. දැනට සේවකයෝ 5 දෙනෙක් විතර මගේ යටතේ සේවය කරනවා. ඒ සියලුදෙනාගේ පඩි නඩි බේරලා සියලුම වියදම දවසට රුපියල් 20,000කට අධික මුදලක් යනවා. නමුත් වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමත් සමඟම පාරිභෝගිකයන්ට මෙම මුදලට සරිලන ආහාර වේලක් දෙන්න අමාරුයි. ඒත් මේක රාජ්‍ය ආයතනයක ආපන ශාලාවක් නිසා අපිට හිතුමතේ මිල ගණන් වැඩි කිරීමට බැහැ. මේ තත්ත්වය නිසා අපි වැටිලා ඉන්නේ උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බැරි තත්ත්වයකට.

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආපනශාලා හිමියකු වූ අසංක ඉඳුනිල් මහතා රජය විසින් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම පිළිබඳව මෙලෙස කීය.

වත්මන් ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමත් සමඟම අපේ බිස්නස් කලින් තිබූ තත්ත්වයට වඩා 30%ක් පහළ බැස තිබෙනවා. සේවකයෝ 15කට අධික පිරිසක් මගේ යටතේ සේවය කරනවා. උදේ 6.00ට තමයි අපි කඩේ අරින්නේ. රාත්‍රී 10 වෙනකම් අපි කඩේ ඇරලා තියෙනවා. කොච්චර බිස්නස් තිබුණත් ඉතින් වැඩක් නෑ. රජයෙන් කරපු මේ වැට් බදු සංශෝධනයත් සමඟම අපි රුපියල් 5000ක මුදලක් ගෙව්වොත් ඒකෙන් 15%ක් රජයට දෙන්න ඕන.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියා කියලා අපිට හිතුන හිතුණු විදියට කෑමවල මිල වැඩිකරන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ අපිට දැනට තියෙන බිස්නස් ටික පවා අඩුවෙලා යන එක. 

මෙවැනි වටපිටාවක් තුළ රුපියල් 100කට පෝෂ්‍යදායී ආහාර වේලක් පාරිභෝගිකයන් ලෙස අපට බලාපොරොත්තු විය හැකිද? ආපනශාලා හිමිකරුවන් ලෙස එම මුදලට ආහාර වේලක් ලබාදීමට කිසිසේත්ම නොහැකියි. ඉදිරියේදී හෝ මේ සියලුදෙනාට කන් දී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකළහොත් අපිට පොකැට්ටුවට සරිලන මුදලට ආහාර වේලක් භුක්ති විඳින්න පුළුවන්.

මේ අසේල සම්පත් මහතා අැතුළු පාර්ශ්ව කිහිපයක් ඉහත කී ගැටලුව විග්‍රහ කළ ආකාරයයි. අවසන අපි එක් දෙයක් සටහන් කර තබමු. කහට කෝප්පයේ සිට ආප්පය, ඉඳිආප්පය, පාන් ගෙඩිය දක්වාත්, ලුණු කැටයේ සිට සියල්ලත් සත විසිපහකින් සත පනහකින් රුපියලයකින් වැඩිවුවත් ඒ සියලු බර දෙවුරට දරාගත නොහැකි ලෙස දැනෙන්නේ ඇති පන්තියේ ලොකු මිනිසුන්ට නොව එදාවේල සරිකරගන්නට යත්න දරන දරිද්‍රතාවයේ පතුලටම ගිලී සිටිනා ජනතාවටය. එමෙන්ම පහළ මධ්‍යම පාන්තිකයන්ටය. නිල් නෝට්ටු මත පාවෙන ජීවිත ගත කරන මහත්තුරුන්ට සත පනහ රුපියල වැඩිකිරිල්ල මහකජ්ජක්ද ලෙස නොදැනුණත් කන වෙනුවට ලෙවකන ජනතාවක් සිටින රටකට එය උභතෝකෝටික ගැටලුවකි. ඒ ජනතා දුකට කන්දෙන නිරින්දන් කොහේ කොතැනකදැයි අද ජනතාව විපිළිසර නෙතින් විමසන වග පමණක් අපි මතක් කර සිටිමු.

හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00